කොරෝනා කාලෙ Happy jar එකක් හදමුද ?Happy jar | Positivity jar | Staying positive during lockdown BuzzFeed.lk
කොරෝනා කාලෙ Happy jar එකක් හදමුද ?Happy jar | Positivity jar | Staying positive during lockdown

නිතරම මනසට එන සෘණාත්මක සිතුවිලි මගාරින්න ක්‍රමයක් ගැන කියන්නයි මේ ලිපිය ඔබ වෙනුවෙන් ලියන්නෙ.අපි කොච්චර ධනාත්මක වෙන්න උත්සාහ කළත් කුමන හෝ හේතුවක් නිසා සෘණාත්මක ආකල්පවලින් අපේ මනස වැසීයනවා.හරියට පැහැදිලි අහසක් එක පාරටම අඳුරු වලාකුළුවලින් පිරෙනවා වගේ.ඉතින් එහෙම වෙලාවට ඔබ මොනවද කරන්නෙ.අසතුටට හේතු වූ සෘණාත්මක දේ ගැනම හිතමින් කාලය ගෙවනවාද ?එයින් වෙන්නෙ ඔබව තවත් පසුපසට අදින එක විතරයි.නමුත් වෙන්න ඕනි අපි ඉස්සරහට යන එකයි.එසේ නම් මේ ආකර්ෂණීය බෝතලය ඔබට ඉස්සරහට යන්න හේතු සපයයි.අපි බලමු කොහොමද මේ වැඩේ වෙන්නෙ කියලා ..


විනිවිද පෙනෙන පිරිසිදු වීදුරු බෝතලයක් ,පාට පාට A4 කොල කිහිපයක් ,ගම් ,කතුරු ,පෑන් වගේ සරල දේවල් ටිකක් තමයි මේ වෙනුවෙන් අවශ්‍යය.මේ A4 කොල පොඩි ප්‍රමාණයේ කොටු හැඩයට කපාගන්න ඔබට පුළුවන්.සරල වැකියක් ලිවීමට තරම් එහි ඉඩක් තිබිය යුතුයි.අනතුරුව ඔබට ඔබ ගැන ඇති වටිනාකම් ,ඔබේ හැකියාවන් ,ඔබ සතුව ඇති හොඳ දේවල් ,ඔබව ධනාත්මක කරන කෙටි වැකි ,ඔබව දිරිමත් කරන ආකල්ප ආදි නොයෙකුත් ධනාත්මක සිතිවිලි ඔබට මෙහි ලිවිය හැකියි.අවසානයට මේ සියල්ල නවා වීදුරු බෝතලයට දැමීමත් අනතුරුව එය " My happy jar " මැයෙන් ලේබල් කිරීමත් ඔබට කළ හැකියි.


- ඇයි අපි මෙහෙම එකක් හදන්නෙ ?ජීවිතේ හැමදාම හැමදේම අපිට එකම විදියට ලබාදෙන්නෙ නෑ.ඉතින් අපි බලාපොරොත්තු වුණු දේවල් අපිට නොලැබුනාම මානසිකව වැටෙන එක නතර කරන්න හරි අමාරුයි.එහෙම තැනකදි අපිට අපි ගැන සතුටු වෙන්න පුළුවන් එක වචනයක් හරි කියවන්න ,දකින්න ලැබෙනවා කියන්නෙම ලොකු ශක්තියක්.එහෙම වෙලාවට කවුරු නැතත් ඔයාගෙ Happy jar එක ඔයා ළඟ ඉන්නවා ඔයාට හයියක් වෙන්න.

- මොනවද අපි මේවගෙ ලියන්නෙ ?ඔයාට ඔයා ගැන සතුටු වෙන්න ,ආඩම්බර වෙන්න පුළුවන් දේවල් තියෙනවා නේද ..ඔයාගෙ හොඳ දේවල් ,ඔයාට පුළුවන් දේවල් ,ඔයාව දිරිමත් කරන දේවල් ..ඉතින් මේ වගේ පොඩි පොඩි දේවල් එක කොලේක එක වැකිය බැගින් ලියන්න පුළුවන් ..මෙන්න මේ වගේ ..


" මං ඔයාට ආදරෙයි "

" ඔයා හරි ශක්තිමත් "

" ඔයා ගොඩක් දක්ෂයි "

" ඔයා තමයි ලස්සනම කෙනා "

" ඔව් මට පුළුවන් "


මේ වගේ ඔයා ඔයා වෙනුවෙන්ම ලීව දේවල් තමයි මේකට එකතු කරගන්න ඕනි.වැදගත්ම දේ තමයි සෘණාත්මක කිසිම දෙයක් මේ අතර ලියවෙන්න බෑ.ඒ වගේම ඔයා කරපු දේවල් ,කරන දේවල්වලින් සතුටක් දැනෙනවා නම් ඒවත් මේ විදියට ලියන්න පුළුවන්.


- කොහොමද අපි මේක පාවිච්චි කරන්නෙ ?උදේම නැගිට්ටාම අතට එන්නෙ ෆෝන් එක නේද.ඊට පස්සෙ ෆේස්බුක් ඉන්ස්ටග්‍රෑම් වට්ස්අප් ගිහින් දකින දේවල් එක්ක අවුල් වුණු මනසකින් නේද ඔබ දවස පටන් ගන්නෙ.ඉතින් ඔබට පුළුවන් උදේම හොඳ වතුර වීදුරුවක් බීලා ඔයා ගැන ඔයාම ලීව ධනාත්මක දෙයක් කියවලාම දවස පටන් ගන්න.

"මට කවුරුත් නෑ" කියලා ඔයාට හිතෙන වෙලාවට ,දුකින් ඉන්න වෙලාවට ,සෘණාත්මක සිතුවිලිවලින් මනස පිරෙන වෙලාවට ඔයාට පුළුවන් මේ දේවල් කියවන්න.


- ඇත්තටම මේක ප්‍රතිඵල සහිතද ?ඔබ විශ්ව ආකර්ෂණ නීතිය විශ්වාස කරන කෙනෙක් නම් මේ ගැන දැනටමත් දැනුවත් ඇති.ඇත්තටම මෙය ප්‍රතිඵලදායි ආකර්ෂණීය වැඩක්.පාට පාට A4 කොලවල පෙර කී වැකි ලියන්න කීවෙත් ඒ නිසයි.ඔබට ඔබේ අරමුණු ඉලක්ක වුණත් මේ විදියට ලියන්න පුළුවන්.ඉතින් ඔයා ඔයාටම මේවා කියවන්න කියවන්න ඔබ තුළ ධනාත්මක ආකල්ප නිරායාසයෙන්ම වර්ධනය වෙනවා.

TV එක ඉස්සරහට ගියත් ,රේඩියෝව ක්‍රියාත්මක කළත් , ෆේස්බුක් ගියත්,වට්ස්අප් ස්ටේටස් සීන් කළත් ,ගෙදර අය එක්ක කතා කළත් මේ ගෙවෙන කාලෙ අපිට අහන්න දකින්න ලැබෙන්නෙම සෘණාත්මක දේවල් විතරමයි.ඉතින් ඔබෙත් මගේත් මනස ඒ අනුවම ප්‍රතිචාර දක්වමින් ඊට අනුව හැඩගැහෙන එක සාමාන්‍ය දෙයක්.ඉතින් මේ සරල උපක්‍රමය එයින් යම් තරමකට හෝ මිදෙන්න ඔබට උපකාර කරයි.

November 17th 2020